බලයට වඩා දුබල බව හොඳ ද?
මැතිවරණයට හොඳම පැත්ත වූ කලී අවශ්‍ය නායකයකු තෝරා ගැනීමට එමගින් ජනතාවට හැකියාව ලැබීමය. මැතිවරණයට නරකම පැත්ත වූ කලී එමගින් සිදුවන පශ්චාත් සහ පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ය. පැෆරල් සංවිධානය කියන පරිදි මෙවර ජනාධිපතිවරණයේ පූර්ව ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව සැප්තැම්බර් 10 වැනිදා වන විට හයසිය පනස් දෙකක් වී තිබිණ. මෙයින් සිදුවීම් තුන්සිය විසි එකක්ම ඡන්ද නීති කැඩීම් විය. තවත් සිදුවීම් අනූතුනක් ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිවලට සම්බන්ධ ඒවා ය. තවත් එකසිය අසූ අටක් රජයේ දේපළ අපහරණය කිරීම් වෙති. ඊට අමතර සිදුවීම් පනහක් දරුණු පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස සිදු වූ ඒවාය. අප මෙය ලියන්නේ සැප්තැම්බර් 18 වැනිදාය. ඡන්දයට තව දවස් 3ක් තිබේ. මේ කාලය ඇතුළත දේශපාලන දාමරිකයන් පාලනය නොකළොත් පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රමාණය දහස ඉක්මවීමට ඉඩ තිබේ. පූර්ව සහ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන්නෝ දේශපාලන ගොබ්බයෝය. උන්ට ඇත්තේ හිසත්, කඳත්, අත පය හතරත්, මොට්ට මොළයකුත් පමණි. මේ මොට්ට මොළය මගින් යහපත් දේවලට විධානයක් ලැබෙන්නේ නැත. මේ මොට්ට මොළය මගින් විධාන දෙනු ලබන්නේ පක්‍ෂ කාර්යාල ගිනි තැබීම, විරුද්ධ පාක්‍ෂිකයාගේ කොඩි කැපීම, පෝස්ටර් ඉරීම, මිනිසුන්ට පහර දීම වැනි තුට්ටු දෙකේ වැඩවලටය. මේ නිසා පූර්ව සහ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන අයට මඩු වලිගවලින් තැලිය යුතු බව අපගේ යෝජනාව වේ. එහෙත් මේ රටේ දේශපාලනඥයන් වැඩි දෙනා අපගේ යෝජනාව ස්ථිර නොකරන බව අපි දනිමු. මේ රටේ දේශපාලනඥයන් අතලොස්සක් රන් එක දෙන්නේම ප්‍රචණ්ඩ ක්‍රියාවලිනි. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් විනිර්මුක්ත ජනාධිපතිවරණ හෝ මැතිවරණ ගැන ඔවුන්ට කිසිම දැනුමක් නැත. ඡන්දයක් කී සැනින් ඔවුන්ට මතක් වන්නේ කඩුවක්, පිස්තෝලයක්, පොල්ලක් වැනි දෙයකි.
No comments:
Post a Comment