කඩු පොලු චූන් එක කීයටවත් එපා
ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු හෙට (18දා) රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතය. මෙතැන් සිට ජනාධිපතිවරණ ඡන්ද විමසුම පැවැත්වෙන සැප්තැම්බර් 21 වැනිදා හවස 5.00 වනතුරු ගත වන කාලය සිංහල අවුරුද්දේ පුණ්‍ය කාලය හා සමාන අන්තර්වාර කාලයක් බවට පත්වෙයි. මේ කාලයේදී ඡන්ද ප්‍රචාරයට සම්බන්ධ කිසිදු වැඩක් කිරීම නීතියෙන් තහනම්ය. සිංහල අවුරුද්දේ පුණ්‍ය කාලය පවතින අවස්ථාවේ දී එම පුණ්‍ය කාලයට අදාළ සිරිත් විරිත් කඩකළැයි කියා පොලිසියෙන් අල්ලා ගෙන යනු නොලැබේ. එහෙත් ජනාධිපති ප්‍රචාරණ කටයුතු තහනම් කරන කාලය තුළ දී එම නීති කඩකිරීමට තැත් කරන සහ එම නීති කඩකරන ඕනෑම එකෙක් බෙල්ලෙන් අල්ලා කුදලා ගෙන යෑමට පොලිසියට බලය තිබේ. මීට අවුරුදු විසිපහකට පෙර මැතිවරණ ප්‍රචාරණය තහනම් වන අන්තර්වාර කාලයේ දී දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ කැචර්ලාට නීති කැඩීමට තිබූ අවස්ථාව සීමා විය. දේශපාලනඥයන්ගේ ගැන්සි එකතු වී අරක්කු බොමින් දේශපාලනඥයාගේ ප්‍රචාරණ කටයුතු තවදුරටත් කිරීම, පොකට් රැස්වීම් පවත්වා දේශපාලනඥයා වෙනුවෙන් තවත් ඡන්ද ටිකක් එකතු කිරීම, දේශපාලනඥයාගේ ඡායාරූපය සහ මනාප අංකය ප්‍රචාරණය කරන විශාල කටවුට් ගසා ගත් වාහනවලින් වීථි සංචාරය කිරීම, දේශපාලනඥයාගේ මනාප අංකය සහිත පෝස්ටර් ඇලවීම වැනි දේවලට පමණක් එකල ඡන්ද නීති කැඩීම සීමා විය. එහෙත් අද වනවිට අන්තර් ජාලය බලවත් වීම නිසා වැඩේ සම්පූර්ණයෙන්ම අල ගොඩක් බවට පත්වී තිබේ. යූ ටියුබ්, ෆේස්බුක්, ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය හරහා ඡන්ද අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම අද වනවිට දවසේ පැය විසිහතර පුරාම කළ හැකිය. එවැනි ප්‍රචාරක කටයුත්තක දී දේශපාලනඥයාට නීතියෙන් දඬුවම් කළ නොහැක. ඔහුට කීමට ඇත්තේ මේ ප්‍රචාරක කටයුතු ගැන තමන් නොදන්නා බවත් තමන් අමාරුවේ දැමීමට ලෑස්ති වී සිටින පිරිසක් තමා අනුදැනුමෙන් තොරව අන්තර් ජාලය හරහා ප්‍රචාරක කටයුතු මෙහෙය වන්නට ඇති බවත්ය. සමහරු වෙනත් රටවල සිට දේශපාලන ප්‍රචාරක වැඩසටහන් සකස් කර යූ ටියුබ්, ෆේස්බුක්, ටික්ටොක් වැනි අන්තර් ජාල වේදිකාවලට මුදා හරිති. මේ අයගේ මයිල් ගහක් වත් ඇල්ලීමට පොලිසියට හෝ මැතිවරණ කොමිෂන් සභාවට නොහැක. එහෙත් මෙවැනි සමාජ මාධ්‍යවලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා තිබේ. එහෙත් එසේ ක්‍රියාත්මක වීම ද ගැටලු සහගත බව කොමසාරිස් ජනරාල් විසින් පිළිගනු ලැබ තිබේ. අන්තර් ජාලය යනු සාගරයකි. ඒ තුළ මාළු බිලියන ගණනක් පීනති. ඒ බිලියන ගණන තුළ එක වගේ පෙනුමැති මත්ස්‍යයෝ බිලියන ගණන් වෙසෙති. මේ නිසා එම මසුන් බිලියන ගණනින් එකෙක් හොරකමක් කළාට අල්ලා ගැනීමට නොහැක. මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අන්තර් ජාලය මේ තරමට සංකීර්ණව පවත්නා අවස්ථාවකය.
No comments:
Post a Comment