Wednesday, September 18, 2024

Divaina Editorial

ළය පැලී මිය යෑම ඇත්ත කතාවක් ද?


තම වැඩිමහලු පුතු හෘදයාබාධයකින් මිය ගිය පුවත ඇසූ වැඩිහිටි මවක් එසැනින් ළය පැලී මියගොස් ඇතැයි ඊයේ (17දා) දිවයින වාර්තා කළාය. බිංගිරියේ හැත්තෑ හැවිරිදි මවක් මේ ඉරණමට මුහුණ පා තිබේ. ඇගේ මියගිය පුතා හතළිස් පස් හැවිරිදි කෙනෙකි. අම්මා මෙන්ම පුතා ද වියපත්ය. පුතා මැදි විය පසු කරමින් සිටින අතර අම්මා මහලු විය පසු කරමින් සිටියාය. එහෙත් පුතා කෙරෙහි වූ ආදරයෙහි කිසිදු අඩුවක් අම්මා තුළ තිබී නැත. පපුව පැලී මිය යෑම යනු හෘදයාබාධයක් වඩා ලොකු කර පෙන්වීමක් බවට සමහරුන් තුළ මතයක් තිබේ. මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් කළ යුතුය. ළය පැලී මිය යෑම යනුවෙන් හඳුන්වන්නේ පපුව දෙකට මැදින් පැලී හෘදය එළියට පැමිණීම නොවේ. කිසියම් ශෝකයක් හෝ වෙනත් පීඩාකාරී හැඟීමක් දැනුණු විට ඇතැමුන්ගේ හෘදයේ රුධිර පීඩනය ඉහළ මට්ටමකට පැමිණ හෘදයේ පේශීන් පුපුරා යයි. ළය පැලෙනවා යනුවෙන් හඳුන්වන්නේ මේ කියන ජීව විද්‍යාත්මක සංසිද්ධියයි. මෙසේ පපු කුහරය තුළ හෘදයේ පේශීන් පුපුරා ගිය විට අධික ලෙස අභ්‍යන්තර රුධිර ගලා යෑමක් සිදුවේ. මෙසේ රුධිරය පහවීම හේතුවෙන් විනාඩි කිහිපයක් තුළ රෝගියා මරණයට පත්වෙයි. බිංගිරියේ හැත්තෑ හැවිරිදි මාතාවට සිදුවී ඇත්තේ ද මේ බව විශ්වාස කළ හැකිය. මවු පුතු දෙපළගේ අවසන් කටයුතු ඊයේ (17) සවස සිදු කරන ලදි.


No comments:

Post a Comment